Skip to main content

රාජ්‍ය පාලනය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම්

රාජ්‍ය පාලනය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම්

මානවසමාජය අද බෙහෙවින් විකාරරූපී හා විකෘති හැඩතල ගෙන තිබේ.මේ ප්‍රකාශය සෑම ක්ෂේත්‍රයක්

සම්බන්ධයෙන්ම වලංගු වේ.සමාජයේ මේ විකෘතිභාවය නිසා වඩාත් අසහනයට පත්ව තිබෙනුයේ සිය

වෘත්තීය,අධ්‍යාපන,සේවා සුදුසුකම් මත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ශ්‍රම දායකත්වය

සැපයීමට සිටින විවිධ සමාජ ස්ථරවලට අයත් ශ්‍රමිකයන්ය.දේශපාලන,සමාජ,ආර්ථික බලය හා

පවුල්පසුබිම ආදී අයථා බලපෑම් හමුවේ සුදුස්සා කපා පළවා හැර ඒ වෙනුවට නුසුදුස්සා ඒ තැන්වලට

රිංගාගැනීම නුතන සමාජයේ දක්නට ලැබෙන විශාල සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබේ. සමාජ

දේහයේ ඉතා පුළුල් පරාසයක විද්‍යමාන වන මෙම විකෘතිභාවය අද වනවිට මුළු මහත් සමාජය පුරාම

පිළිකාවක් පරිද්දෙන් ව්‍යාප්ත වී තිබේ.මෙයට පිළියම්කිරීම අසීරුවී ඇත්තේ එය සම්පූර්ණ සමාජයම

වෙලාගෙන ක්‍රියාත්මක වන බැවිනි.යම්කිසි සමාජයක නරක හොඳ යටපත් කරගෙන ඉස්මතුවි ඇත්නම්

හොඳට වඩා ඇත්තේ නරක නම් ඒ සමාජය යළිත් හොඳබවට පරිවර්තනයකිරීමට වඩා පහසුවෙන් ඉතිරිවී

ඇති හොඳ ඉවත් කර දමා ඒ වෙනුවට සම්පූර්ණ නරක සමාජයක් බවට පත්කළ හැකිය.අද වන විට සමස්ත

සමාජයෙන් 95% කටත් වඩා නරක ඇත.හොඳ ඇත්තේ 5% කටත් වඩාස්වල්පයකි.එබැවින් මේ පවතින

සමාජයේ හොඳ අය දුකෙනුත් නරක අය වඩාත් සතුටිනුත් සිටිනු දැකිය හැකිය.මේ තත්වය එදා බුදුන්

ජීවමාන කාලයේ දී කොසොල් රජු දුටු අනාගතයේ සිහින සැබෑවන කාලපරිච්ඡේදය ලෙස පෙන්වා දිය

හැකිය.

කුමන හෝ දේශපාලන පක්ෂයක් බලයට පත්කළද පවතින ක්‍රමයෙහි වෙනසක් දැකිය නොහැක්කේද

පුද්ගලයාට වඩා පවතින ක්‍රමය බලවත් බැවිනි.මේ යටතේ බලයට පත්වන කොයිතරම් හොඳ අයෙකු

වුවද පවතින ක්‍රමයට උචිත පරිදි පවතින ක්‍රමයෙහි ගැත්තෙකු බවට පරිවර්තනය

කරවාගනියි.පවතින ක්‍රමය වෙනස්කිරීමට යන සෑමඅයෙකුටම අවසානයේදී සිදුවනුයේ පවතින

ක්‍රමයෙහිම කොටසක්බවට මේ අනුව පරිවර්තනයවීමටය.මේ එදාමෙදා තුර බලයට පත්වූ සෑම

පුද්ගලයෙකු සම්බන්ධයෙන්ම එක හා සමානව සත්‍යවූ කාරණයකි.එසේ නම් කෙදිනකවත් මේ

පවතිනක්‍රමය වෙනස්කළ නොහැකිවනු ඇද්ද? නැත.එය එසේ නොවේ.වෙනස්කළ හැකිය.නමුදු ඒ සඳහා

බෞද්ධ ඉගැන්වීම්වල සඳහන්වන නිවැරදි ක්‍රමවේදය භාවිතයට ගතහැකි පුද්ගලයෙකු

වියයුතුය.බෞද්ධ විනයඉගැන්වීම්වල මේ සඳහාම උචිත ඉගැන්වීමක් වේ.එනම් සෑමවිටකම බහුතර

කැමැත්ත ඉටුකළ යුතුවුවද බහුතර කැමැත්ත යුක්ති ගරුක නොවූ,වැරදි,සාධාරණ නොවූ අවස්ථාවකදී

කිසිදු බලපෑමකට අවනත නොවී බහුතර කැමැත්ත වුවද ඉවතලා යුක්තිගරුක,නිවැරදි,සාධාරණ සුලුතර

කැමැත්ත අනුව කටයුතු කළයුතුය යන බුදුන්ගේ නිර්දේශයයි.ඇතැම්විට එකම එක් පුද්ගලයෙකුවත්

නිවැරදි,සාධාරණ,යුක්තිගරුකබවට පක්ෂපාතිත්වය නොදැක්වූ අවස්ථාවක වුවද

අයුක්තිසහගත,අසාධාරණ,වැරදි වූ සියලු දෙනාගේම මතය ඉවතලා නිවැරදි දෙය ඉටුකළහැකි මට්ටමේ

ප්‍රබල පෞරුෂයක් සැබෑ නායකයෙකුහට තිබිය යුතුබව බෞද්ධඉගැන්වීමයි.

රාජ්‍යයක පාලන තන්ත්‍රය ධාර්මික පදනමක් මත ගොඩ නගා ගත යුතු ආකාරය බුදුන්වහන්සේ දේශනා

කර ඇත.දීඝ නිකායේ චක්ඛවත්තී සීහනාද සූත්‍රය, කූඨ දන්ත සූත්‍රය, අග්ග්ඤ්ඤ සූත්‍රය ආදී සූත්‍ර

දේශනා තුළ ධාර්මික රාජ්‍ය පාලනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් විග්‍රහවේ.කිසියම් රාජ්‍යයක

ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය රඳා පවතින්නේ පාලකයනගේ ක්‍රියා කලාපය මතය.රජුගේ ධාර්මික

ක්‍රියා කලාපය රටේ සෞභාග්‍ය ය හා සමෘර්ධිය පිනිස හේතුවේ.අග්ග්ඤ්ඤ හා චක්ඛවත්තී සීහනාද

සූත්‍ර අනුව රජකු ලොව පහළ වූ ආකාරයත් එසේම රජකු දැහැමින් සෙමින් රට පාලනය කළ යුතු ආකාරයත්

පැහැදිලි කර දී ඇත.රටක පළමු පුරවැසියා වන පාලකයා ප්‍රථමයෙන් ධර්මානුකූල විය යුතු බව බුදු දහම

පෙන්වා දෙයි."සබ්බං රට්ඨං සුඛං සේති - රජාචේ හෝති ධම්මිකෝ".රජු දැහැමි උවහොත් සියලුම ජනයා

සුවසේ ජීවත් වනව බව මෙයින් දැක්වේ. "ගවං චේ තර මානානං - ජීම්හං ග්ච්ඡතී පුංගවො  සබ්බේ තේ

ජීම්හං ගච්ඡන්තී -නෙත්තේ ජීම්හං ගතේසතී"ගවරැළක නයකයා කෙළින් මහ මග ගමන් කරන විට සෙසු

ගවයන් ද ප්‍රධානියා අනුගමනය කරමින් කෙළින් ගමන් කරයි.ගව නායකයා ඇදට යනවිට සෙසු ගවයන්ද

ඇදට ගමන් කරයි.රාජ්‍ය සංකල්පයේද රජු වැරදි මාර්ගයක් ඔස්සේ රට පාලනය කරන විට ඔහු වටා

සිටින සෙසු පිරිස්ද වැරදි දේ කරමින් රටපුරා අධාර්මිකත්වය,ප්‍රචණ්ඩත්වය,දූශ්ණය ඇති කරවමින්

ක්‍රියා කරයි.   යහපත් පාලකයකු පාලනය කරන විට කලට වැසි වසින බවත් අස්වනු සරුසාර වන බවත්

රට සුඛිත මුදිත වන බවත් බුදදහමේ දේශනා කොට ඇත.නූතනයේ මෙරට අපදා තත්ව බහුලවීමට හේතුව

ලෙස පෙන්වා දියහැක්කේ මෙකල දේශපාලනනායකත්වය අධාර්මික,අයුක්තිසහගත ස්වභාවයකට

පරිතවර්තනයවීමයි.

පාලකයකු මූලිකවම පංචශීල ප්‍රතිපත්තිය අනුගමනය කරන්නකු විය යුතු බව කියවේ.රාජ්‍ය

ප්‍රධානියා දිවි හිමියෙන් තමන් මෙම ප්‍රතිපත්ති සුරකින විට සමාජයේ අනෙකුත් පුද්ගලයෝද මේවා

අනුගමනය කිරීමට පෙළඹෙන අතර මේ තුලින් පාලක පාලිත දෙපිරිසේම අයිතිවාසිකම් සුරක්ෂිත වේ.

එසේම පාලකයකු තම ජනතාව ආරක්ෂා කළ යුත්තේ පියකු තම දරුවන් රකින්නාක් මෙනි.රාජ්‍ය

පාලනයේදී වැදගත් වන සංකල්ප රැසක් ඉහත සඳහන් සූත්‍ර ආදියෙන් බුදුදහමෙන් පෙන්වා දී ඇත.ඒවා නම්

සප්ත අපරිහානීය ධර්ම, සතර සංග්‍රහ වස්තු,සතර බ්‍රහ්ම විහරණ, දසරාජ ධර්ම,දස

සක්විතිවත්,සතර අගති වශයෙනි. බෞද්ධ ඉගැන්වීම් වල දැක්වෙන සප්ත අපරිහාණීය ධර්ම වැදගත්

රාජ්‍ය සංකල්පයකි.මෙය යහපත් පාලකයකු විසින් ගුරුකොට ගත යුතු මූලධර්ම හතකි.1.නිතර නිතර

රැස්වීම, 2.සමඟියෙන් රැස්ව සමඟියෙන් ක්‍රියා කොට,සමඟියෙන් විසිර යාම, 3.නොපැනවූ නීති නොපැනවීම

හා පැනවු නීති මැනවින් ආරක්ෂා කිරීම, 4.විවාහක හා අවිවාහක කාන්තාවන් විෂයෙහි විනීත වීම,

5.වැඩිහිටියන්ට ගරු කිරීම හා ඔවුන්ට සවන් දීම, 6. පූජණීය ස්ථාන වලට ගරුකිරීම හා රැක ගැනීම,

7.ආගමික නායකයන්ගේ පහසුකම් හා ආරක්ෂාව සැපයීම හා රටට නොපැමිණි පූජ්‍ය උතුමන්ලා ගෙන්වා

ගැනීම  යනුවෙන් දැක්වෙන සප්ත අපරිහාණීය ධර්ම අනුව ලිච්ඡවී රාජවංශිකයන් රට පාලනය කිරීම

නිසා විසල්පුරය මිහිපිට සුරපුරක් බඳු විය.ඔවුන් එම උපදෙස් අනුවම පාලන කටයුතු කළ නිසා විසල්

පුරයට එරෙහිව සටන් කළ අජාසත් රජතුමා දෙවතාවකදී ම පරාජිතයකු බවට පත්විය.නූතයේ මෙරට

දේශපාලන නායකයන්ගේ චර්යා විකෘති හා විෂම වීම නිසාම අද මෙරට

සංස්කෘතික,සාමයික,අධ්‍යාපන,ආර්ථික අංශයන්ගෙන් සීඝ්‍ර පරිහානියකට තල්ලුවී ගොස් ඇත.

බෞද්ධ දේශපාලනයට අදාළ ප්‍රතිපත්ති අතර දස රාජ ධර්ම වලට හිමි වන්නේ විශේෂ ස්ථනයකි.

යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා පාලක ප්‍රජාව මෙම ප්‍රතිපත්තීන්ගෙන් සමන්විත විය යුතු බව බුදු

දහම මගින් පෙන්වා දෙයි."දානං සීලං පරිච්චාගං අජ්ජවං මජ්ජ්වං තපං-අක්කෝධෝ අවිහිංසාච ඛන්තීච

අවිරෝධතා" එනම් 1.දානය, 2. ශිලය, 3. පරිත්‍යාගය, 4. සෘජු බව, 5. මෘදු බව, 6 .තපස, 8. අවිහිංසාව,

9. ශාන්තිය, 10. අවිරෝධතාව යන කරුණු දහයයි. නමුදු නූතයේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබදව

විචාරපූර්වක සලකා බැලූ විට පැහැදිලිව පෙනී යන්නේ මේ කරුණු නිසි අයුරින් ක්‍රියාත්මක නොවන

බවයි.ඒ නිසාම කෙතරම් බටහිර දේශපාලන,ආර්ථික ක්‍රමවේදයන්ට අනුකූලව මෙරට පාලනයකළද

තවමත් මෙරටතුළ පැහැදිලි සංවර්ධනයක් උදා කරගැනීමට අපොහොසත්වී තිබේ. පක්ෂභේදයකින්

තොරව සුදුස්සාට නිසි තැන හිමි කරදී ඔවුන්ගේ හැකියාවන්ගෙන් මෙරටට ලබාගත හැකි සේවය

ලබාගැනීමට තරම් දූරදර්ශීවීම වැදගත්ය.

දේශපාලනයට අදාළ ප්‍රතිපත්ති වලටඅනුව දස සක්විතිවත් වලට හිමි වන්නේ සුවිශේෂි වැදගත් කමකි.

චක්‍රවර්තී රාජ සංකල්පය හඳුන්වා දීමත් විශ්ව රාජ්‍යයක් ගොඩ නැගිමටත් මහෝපකාරි වන උදාර

ප්‍රතිපත්ති 10ක් දස සක්විතිවත් ලෙස දැක්වේ.ඒවා නම් 1.තමා ශීලයෙහි පිහිටා අඹුදරුවන්ට ද

රැකවරණය දීම, 2.ධර්මය මත පිහිටා බලසේනාවට අවශ්‍ය දැහැමි රැකවරණය දීම, 3.ක්ෂත්‍රීන්ට

අවශ්‍ය සංග්‍රහ ලබා දී ඔවුන් රැකබලා ගැනීම, 4.නියම් ගම් වාසීන්ට හා ජනපද වසීන්ට දැහමි

රැකවරණය ලබ දීම, 5.බ්‍රහ්මන ගෘහපතීන්ට දැමි රැකවරණය දීම, 6.මහන බමුණන්ට සුදුසු සංග්‍රහ

ලබ දීම, 7.සිව්පාවන්ට හා පක්ෂීන්ට දැහැමි රැකවරණය ලබදීම, 8.ධනය නැති අයට ධනය දීම, 9.අපරාධ

මර්දනය කිරීම,  10.සිල්වත් මහණ බමුණන්ගේ උපදෙස් ලබගෙන පාලනය කිරීම යන කරුණු දහයයි.

සිඟාලෝවාද සූත්‍රයේ එන සතර සංග්‍රහ වස්තු තවත් උසස් පිළිවෙතකි. ඒවා නම්

1.දානය,2.ප්‍රියවචනය,3.අර්ථචර්යාව,   4.සමානාත්මතාවය යන කරුණුය. මෙම සතර සංග්‍රහ වස්තු

රටක සමෘද්ධිය ඇති කරලීමට පාලකයා අනුගමනය කළ යුතුම වෙයි. එසේම සතර බ්‍රහ්ම විහරණ යනු

රාජ්‍ය පාලනයේදී වැදගත් වන තවත් ඉගැන්වීමකි. ඒවා නම් 1.මෙත්තා  2.කරුණා 3.මුදිතා හා

4.උපේක්ඛා යන කරුණුයි. කිසියම් පාලකයකු අගතිගාමි උවහොත් එය රට වැසියන්ගේ

අභාග්‍යයකි.පාලකයන් සතර අගතියෙන් වැළකී සිටිය යුතුය.ඒවා නම් 1.ඡන්දය 2.ද්වේශය 3.භය  හා

4.මෝහය ලෙස සඳහන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම යමෙක් අනුගමනය කරයිද ඔහු අයුක්තියට,

අසාධාරණයට අනුබල දෙන්නෙක් වේ. අධර්මවාදියකු වෙයි. එබැවින් එම පිළිවෙත් වලින් වැළකී ක්‍රියා

කළ යුතු බව ඉගැන්වේ. රාජ්‍ය පාලනය සඳහා වැදගත් වන බෞද්ධ ඉගැන්වීම් මෙසේ පෙන්වාදිය හැකිය.

ශ්‍රී ලංකාව ධර්මද්වීපයක්‌ යන ආකල්පය ලොව සෙසුරටවල් අතර සන්නිවේදනය කරවීමට නම් පාලක

ප්‍රජාව රට පාලනය කිරීමේ දී බෞද්ධ ඉගැන්වීම්වලට අනුගත විය යුතුය. මෙම දිවයින බෞද්ධ

රාජ්‍යයක්‌ බවට පත්කොට සමස්‌ත ලෝකයටම ආදර්ශවත් රාජ්‍යයක්‌ කිරීමට පියවර ගත යුතු කාලය

එළඹ තිබේ. උතුම් ගුණ ධර්මවලින් පිරිපුන් මිනිසුන් වාසය කරන ධර්මද්වීපයක්‌ බව පෙන්වීමටත් අන්

ආගම් අතර උත්තරීතර බුද්ධිමත් ආගම වන බුදුදහමේ ඉගැන්වීම්‌ අනුව ඉදිරියට යන ජනතාවක්‌ වාසය

කරන රටක්‌ ලෙස ආදර්ශයෙන් පෙන්වීමට නම් ධර්මානුකූල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි. ඊට අදාළ

උපදේශයන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. මෙම ධර්මය ඈත අතීතයේ ලාංකීය රජවරුන්ද

අනුගමනය කර තිබේ. වර්තමානය වන විට ධර්මයට පිටුපා විනය විරෝධී ප්‍රතිපත්තිවලට යොමුව

තිබේ. මේ ධර්මය රාජ්‍ය පාලකයන් තුළින් ගිලිහී යන විට අධර්මය,අයුක්තිය ඉස්මතු වී රටම විනාශය

කරා යොමු වෙයි. බඹරා මලනොතලා රොන් ගන්නා සේ ජනතාවගෙන් රාජ්‍ය නායකයා ධාර්මිකවඅයබදු

ගතයුතුය. මහජන නියෝජිතයන්ගේ සුව පහසුව උදෙසා ජනතාව තලා පෙලා අධිකව බදුඅයකර ගැනීම

පහත් ක්‍රියාවකි. හුදී ජනයා අමතකකොට මෙකල මහජන නියෝජිතයෝ ඇතුළු අතළොස්‌සක්‌ ජනතාව

සුර පුරයකට පිවිසීමට කටයුතු කරති.බුද්ධ දේශනාව මගින් ප්‍රකට කෙරෙන පරිදි රටක දේශපාලනය,

ආර්ථිකය හා සදාචාරය එකිනෙකට බැඳී පවතියි. මේ අංශ තුන රාජ්‍ය නායකයා විසින් දැහැමිව හා

විධිමත්ව සංවිධානාත්මකව මෙහෙයවීම අවශ්‍යය. එසේ වූ විට රටක ප්‍රජාව සුත මුදිත කළ හැකිය.

එසේ නොවුණහොත් රට අන්ත පරිහානියට පත් වෙයි. ජනතාව විවිධ දුෂ්කරතාවලට ලක්‌වීම

නොවැළක්‌විය හැකිය. එය වළක්වාගැනීම බුද්ධිමත් මහජන නියෝජිතයන්ගේ නුතන යුගයේ ප්‍රමුඛතම

කාර්යභාරයය ලෙස පෙන්වා දිය හැකිය.

Comments

Popular posts from this blog

මහා බලතගු වශී ගුරුකම්

sinhala tamil aluth avurudu litha 2018

මහා බලතගු වශී ගුරුකම්