Skip to main content

කාලීන බණ හා අකාලික දහම

 කාලීන බණ හා අකාලික දහම
නියම බණට වඩා අමුතු බණ දෙසන ගිහි,පැවිද්දන් නූතන සමාජයතුළ සුබලය.ඇතැම් බණ විහිළුතහළු නරනාටක සිහිගන්වයි.උතුම් බුදුබණ එකකි.කාලීන බණ තවෙකකි.උතුම් බුදුබණ අකාලිකය.කාලික බණ එබැවින් උතුම්බුදු බණ නොවේ.බුදුරදුන් අකාලික දහමක් දේශනාකළා මිසක කාලික දහමක් අප අසා ඇති ලෙසට දේශනා කර නොමැති බැවිනි.යහමින් මුදල් ලැබේ නම් බුදුරදුන් විකුණාගෙනකෑමට වුවද ඇතැම් පැවිද්දන් නොපැකිලෙනබව මෙබඳු වාණිජ කාලීන බණ යහමින් විකිණීමතුළින් පැහැදිලි වේ.එක පැවිද්දෙක් බුදුන් උපන්බිම මේ ශ්‍රී ලංකාවබවට පොතක් ප්‍රකාශකරවීය.මුලදී එයද උණුකැවුම් විලස විකිණින.නමුදු පසුව එම පොතේ අන්තර්ගත සාවද්‍යකරුණු නිසා එය තහනම් විය.නමුදු සමාජ ගතවූ වැරදි කරුණු  බුදුදහම පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති ඇතැම් අය තවමත් විශ්වාස කරති. 
මෙකල බොහෝ දෙනෙකු තුළ නිවැරදි ධර්මබෝධයක් නැත.බොහෝ අය ධර්මාවබෝධය සේ වටහා ගෙනඇත්තේ මතුපිට ඔපයයි.චාම්,අල්පේච්ඡ,සරළබවතුළ ධර්මාවබෝධයේ ගැඹුරුහරය ගැබ්ව තිබේ. නූතනයේදී වඩාත් සරුවපිත්තල වාණිජකරණයට යටවූ ජනජීවිතයතුළ ඉහතකී ගුණදම් වේගවත් සේ පළායමින් තිබේ.තමන් ගතකරන එදිනෙදා දිවිපෙවෙත හැකිතාක් සරළ,චාම් කරගැනීම වෙනුවට තව තවත් සංකීර්ණ සරුවපිත්තල බවට පත්කරගැනීමතුළ මානසික පීඩනය අධිකය.අධිමානසික පීඩනයම අධිරුධිර පීඩනයටද,මධුමේහය ආදී විවිධ රෝගාබාධවලටද හේතුවේ.කෘතිම ආහාරපාන,සංකීර්ණ දිවි පෙවෙත ආදී දේ නිසා නූතන සමාජ පරිසරය මනුෂ්‍ය වාසයකට අයෝග්‍යබවකට පරිවර්තනය වෙමින් පවතියි.හැකිතාක් කාමය පසුපස ලුහුබඳින්නා ධර්මාවබෝධය පිණිස වනගත වියයුතුබවට කල්පනා කරයි.ප්‍රතිපත්තිගරුකව සමාජයතුළ විසිය නොහැකියැයි වරදවා කල්පනා කරයි.ධර්මාවබෝධයට පත් වීම යනු සමාජයෙන් පළාගොස් වනවාසීවීම නොවේ.ජීවිතයෙන් පළායාම ආත්මධෛර්යට,ශක්තියටද පටහැනිය.ජීවිතයතුල වෙසෙමින් අටලෝ දහමේ අකම්පිතව නිරුපද්‍රිතව සමාජයට තමාගෙන වියයුතු මෙහෙය සාර්ථකව ඉටුකරලීම සැබෑ ධර්මාවබෝධයට පත් තැනැත්තාගේ කාර්යභාරයයි. ප්‍රායෝගික ජීවිතයෙන් පළායාම ආධ්‍යාත්මික සංවර්ධනයට මඟක් නොවේ.එසේ පළායාමතුළ ඇත්තේ පරාජිත බවයි.පරාජිතයෙකුට කෙදිනකවත් ජයග්‍රාහකයෙකු විය හැකි නොවේ.එබඳු තැනැත්තෙකු අධ්‍යාත්මික සටනකදී කෙසේවත් ජයග්‍රාහකයෙකු විය නොහැකිය.මන්ද ආධ්‍යාත්මික ජයග්‍රහකයෙකුවීම ලෞකික ජයග්‍රහකයෙකුවීමට වඩා ඉතා අසීරු බැවිනි.සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා බුද්ධත්වය යන උතුම්ම ආධ්‍යාත්මික ජයග්‍රහණය කරාගන්නාවූ බෝධිසත්වයෙකුට ආත්මශක්තිය,ආත්මධෛර්ය ඉතා අවශ්‍ය ගුණාංග දෙකකි.පැරදී පළායන්නෙකුට මේ උතුම් ගුණ කවදාවත් අත්පත්කරගත නොහැකිය.
ධර්මාවබෝධයට පත්වීම යනු සැබෑ ජීවිතයෙන් පළායාමක්ද නොවේ.සැබෑ ජීවිතයතුළ විද්‍යමාන අට ලෝ දහමට අකම්පිතව මුහුණදිය හැකි මානසික ශක්තියක් තමාගේ චිත්ත අභ්‍යන්තර තුළ ගොඩනඟා ගැනීමයි.යමෙකුට මේ කලබලකාරී පසුබිම තුළ රැඳිසිටිමින්ම එසේ කිරීමේ හැකියාව තිබේ.තවත්අයට එසේ කිරීමට නම් පරිසරය වෙනස්කළ යුතුය.කලබලකාරී වාතාවරණක සිට නිස්කලංක පරිසරයකට මාරුවිය යුතුය.නමුදු ප්‍රායෝගිකව වඩාත් ගැලපෙනුයේ මතුපිට පරිසරය වෙනස් කිරීමට වඩා කලබල පරිසරයක සිටම තමාගේ සිත නිස්කලංකබවට පත්කරගන්නේ කෙසේදැයි වටහාගැනීමයි.නුතනයේ අඩුවැඩි වශයෙන් සමාජ ප්‍රජාව ගතකරනුයේ ඉතා කාර්යබහුල දිවි පෙවෙතකි.ටික දිනකට හෝ එයින් ඉවත්ව සිටීමට අපහසුතරමට කාර්යබහුලත්වය,සංකීර්ණත්වය සමඟ හැම කෙනෙකුම බද්ධවී ඇත.ඒ සමාජ පරිසරයක දිවිගෙවන පුද්ගලයන්ට නිස්කලංක පරිසරයක් හමුවනතුරු මානසික සුවය ඇතිකර ගැනීම පමාකිරීමට උපදෙස් දීමට වඩා ලැබී ඇති සුලු මොහොත වුවද අර්ථවත්ව ප්‍රතිඵලදායී ලෙස තම සිත හික්මවා ගැනීමට පෙළඹවීම වැදගත්ය.වනවාසීව බවුන් වැඩීම හැමදෙනෙකුටම කළ නොහැකිය.
මානව සිත ඉක්මනින් කළබලකාරී බවට පමුණුවයි.මානය නම් තම කය,මනස කෙරෙහි බැඳීමක් ඇති කර ගැනීමයි.කය හේතුප්‍රත්‍ය නිසා ඇතිව නැතිව යන රූපස්කන්ධයයි.වේදනා,සංඥා,සංඛාර,විඤ්ඤාණ යන ගොඩවල් සතර සිතයි.පුද්ගලයා යනු මේ රූපස්කන්ධ හා නාමස්කන්ධවල සමවායයි.මම,මගේය යනුවෙන් ග්‍රහණය කරගනුයේ මේ රූප හා නාම ස්කන්ධ පහයි.මෙය පංචස්කන්ධ නම්වේ.මම වෙමැයි කෙනෙකු ග්‍රහණය කරගනුයේ සිරුර හා චිත්ත ක්‍රියාකාරීවය මඟින් ලබාගන්නා සන්නිවේදනයි.මෙසේ සන්නිවේදනයවීමේදී චක්ඛු,සෝත,ඝාණ,ජිව්හා,ඵොට්ඨබ්බ(ස්පර්ශ),මනෝ ආදී විඤ්ඤාණ හයක් ඇති වේ.මේ ෂඩ් විඤ්ඤාණ ධාතු අවිද්‍යාවෙන් ග්‍රහණය කරගැනීම නිසා මම,මගේ ආදී දෘෂ්ටි උපදියි.මෙයට සක්කායදිට්ඨි යයි නමකි.සක්කායදිට්ඨි ප්‍රහාණය සඳහා නාම,රූප ඇතිවීම හා නැතිවීම පිළිබඳව හේතු ප්‍රත්‍ය ත්‍රිලක්ෂණ ධර්මතාව අනුව සිහි නුවණින් විමර්ශනය කිරීම හෙවත් විදර්ශනා භාවනා වැඩියයුතුය. එසේ නුවණ හා සිහිය දියුණු තියුණුවීම අනුව ක්‍රමයෙන් සිහිය හා ප්‍රඥාව වර්ධනයවී නාමරූප ධර්මතා මිසක මම,මාගේ යනුවෙන් යමක් නැතැයි අවබෝධ කරගැනීම දර්ශන ඥාණයෙන් සක්කායදිට්ඨිය ප්‍රහාණය කිරීමයි.නමුදු මෙසේ අවබෝධයට පත්වීමට යමෙකුට දෙනෙත වසාගෙන භාවනා කළයුතු නැත.අවබෝධයෙන් යුතුව ධර්මසාකච්ඡාවක නිරතවීමේදී,තවත් කෙනෙකුගේ දේශනයකට සවන්දීම තුළදී,එදිනෙකා දිවියෙහි ප්‍රායෝගික ක්‍රියාකාරකමක විදර්ශනා භාවනා මනසිකාරයෙන් නියැලී සිටීමේ දී යන ඕනෑම ආකාරයකට කෙනෙකුට ක්ෂණිකව සක්කායදිට්ඨිය ප්‍රහාණයකිරීමට අවශ්‍ය අවබෝධය ලබාගත හැකිය.බුද්ධ කාලයේදී පළාකොළ ව්‍යංජනය ලිපතබා හැඳිගාමින් විදර්ශනා මනසිකාරයෙන් එය නිරීක්ෂණය කරමින් සිටිද්දී ගින්නට එය චිටි චිටි නාදයෙන් පිපිරීම නාමරූප ධර්මතාවගේ බිඳීමට උපමා ලෙස අවබෝධව ධර්මාවබෝධයට පත්වූ උවැසියන් පවා විසූබව ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන්ය.
කලබලකාරීත්වය මැද දිවිගෙවන නමුදු සක්කාය දිට්ඨිය හටගැනීමට හේතුවන හේතු ප්‍රත්‍ය ක්‍රියාවලිය නිවැරදිව විදර්ශනා සිහිනුවණින් විමර්ශනය කළ හැකි ගැඹුරු හා තීක්ෂණ ප්‍රඥාවෙන් සමන්විත ඇතැම් ප්‍රඥාවන්ත පුද්ගලයෝ මේ සමාජයේද සිටිති.ගිහි,පැවිදි,විවාහක,අවිවාහක,ස්ත්‍රී පුරුෂ භේදයක් ඔවුන්ට ධර්මාවබෝධය සඳහා නැත.මා දන්නා හඳුනන විශ්වවිද්‍යාලයේ සේවයකරන ඉංජිනේරු මහතෙක් හා සමඟ සිදුකළ ධර්මසාකච්ඡාවක ප්‍රතිඵල ලෙස එතුමා ඉතා නිවැරදි ලෙස සක්කායදිට්ඨිය විනිවිදදැකිය හැකි විදසුන් ප්‍රඥාව වර්ධනය කරගත්තෙකු ලෙස අවබෝධකරගත හැකිවිය.එතුමා පැවිද්දෙකු ලෙස තියුණු සැතකින් නාමරූප ධර්මතාව ඛණ්ඩනය කර ඉතා විශද ලෙස එහි ක්‍රියාකාරීත්වය විනිවිද මම, මගේය යන ආකල්ප හටගන්නා ආකාරය විග්‍රහ කිරීමට හුදු අවබෝධ ශක්තියමත හැකියාවක් ඇතිකර ගෙන සිටියේය. බුද්ධ කාලයේදී ඡත්තපාණී උපාසක, චිත්ත ගෘහපති, ධම්මික උපාසක වැනි එබඳු පුද්ගලයන් බහුලව සමාජයේ සිටඇති බව ත්‍රිපිටකයේ සඳහන්ය.ජීවිතයේ දිගුකලක් විදර්ශනා භාවනා වඩා පළපුරුදුකම් ඇති මැදිවිය ගෙවන මට යමෙකු පොත් පත්වල ඇති දේ කටපාඩම්කර ගිරවුන් සේ වමාරන විටත් අවබෝධයෙන් යමක් වටහාගෙන පවසනවිටත් එහි ඇති වෙනස මනාව දතහැකිය. සමාජයේ බොහෝ පිරිස ගිරවුන් සේ පොත්වල ඇති දේ වමාරන්නවුන් මිසක නිවැරදි අවබෝධයක් ලැබූවන් නොවේ.ගිහියන්ට සාපෙක්ෂකව පැවිද්දන් අතර එබඳු අය බහුලය.ඒඅය පවසන ධර්මදේශනා ශ්‍රවණය කර නිවන් අවබෝධකරගැනීමටද නොහැකිය.අද සමාජයේ ධර්මදේශනා,පින්කම්,ආගමික උත්සව බහුලවුවද පෙර යුගවලදී මෙන් ධර්මාවබෝධයට පත් අය නූතන සමාජයේ බිහි නොවනුයේ මේ හේතුව නිසාය.මේ හැම දෙයක්ම හරය ඉවතලා මතුපිට ඔපය කෙරෙහි පමණක් යොමුවූ දේවල්ය.
මතුපිට ඔපය බොරුසෝබනවලින් පමණක් සමන්විතය.අවමංගල චාරිත්‍රවිධිව ආදී දේවලට පමණක් සීමා වූ ආගමකින් ගැඹුරු ජීවනදර්ශන අපේක්ෂා කළනොහැකිය.ලෝකයේ ඇති ගැඹුරු ජීවනදර්ශනය ඇති එකම ආගම බුදුදහම වුවද එය අවමංගලචාරිත්‍රවිධි ආදීදේවලට පමණක්සීමාවී පැවතීම නූතනයේ දී දැකගත හැකි පරිහාණි ලක්ෂණයක් ලෙස හැඳිනගත හැකිය.භික්ෂුව පූජකයාගේ තැනට ලොප්වීමද බුදුරදුන්ගේ ඉගැන්වීම් බුද්ධාගම ලෙසට සංස්ථාපිත ආගමක්බවට පරිණාමයවීම හැඳිනගත හැකිවූ එක් ලක්ෂණයකි.බුද්ධාගම කොන්ක්‍රීට් ඉදිකිරීම් කීපයකට පමණක් ලඝුවීම මේ යුගයේ විද්‍යමාන ජනප්‍රිය බුද්ධාගමේ ලක්ෂණකි.පන්සල්වල ටයිල්,ටෙරාසෝ අතුරා සුඛෝපභෝගී,විසිතුරු කිරීමට භික්ෂූන්තුළ ඇති අධි තරඟකාරීත්වය නූතන බුද්ධාගමේ ප්‍රධානතම ලක්ෂණයක් සේ හැඳිනගත හැකිවුවද බුදුන්ගේ මූලික ඉගැන්වීම්වල අන්තර්ගත ගැඹුරු ජීවනදර්ශනයේ හරය විනාශකිරීමට එය විශාලව දායකව ඇත. සක්කායදිට්ඨිය නැතිකිරීමට මඟ කියන බුදුදහම නූතනයේ බහුලව භාවිතාවනුයේ එය තහවුරුකරලීම පිණිස බව මේ අනුව පෙනීයයි.ප්‍රතිපත්තිය හීනවූ තරමට වඩාත් විශාල දැවැන්ත අහස සිඹින උස්දාගැබ් විසල් බුදුපිළිම ආදිය සිව්මං සන්ධි අසල ඉදිවීම අධිකවී ඇත.අද ප්‍රජාව තමන්ගේ ආගමික බැතිය සෙසු අයට ප්‍රදර්ශනය කරවීම මුල්තැනට පැමිණ තිබේ.හරය ඉවතලා සෝබනය මුල්තැනට පැමිණීමට මෙය ප්‍රධාන හේතුවයි.ගිහි සමාජයට මඟ පෙන්වීමට සිටින භික්ෂුවද සිය කාර්යභාරය නිසිසේ වටහාගැනීමට නූතනයේ අසමත්ව ඇත.මිලමුදලට,ලාභසත්කාර,සම්මානවලට ඇස් ගිනිකණ වැටීම මෙයට හේතුවයි.
ශ්‍රී ලංකාවේ සම්බුදුසසුන නඟාසිටුවීම යනු බෞද්ධාලෝක මාවතේ වෙසක් පහන්කූඩු තරඟපැවැත්වීම යැයි පැවති සෑම රජයක් සේම නූතන රජයද කල්පනා කරනබවක්ද පෙනී යයි.බුද්ධශාසන අමාත්‍යාංශ අධ්‍යාපන දෙපාර්තමේන්තු, පිරිවෙන් අංශ ආදිය යම් රටකට ඇත්තේ පිරිවෙන් ගුරුපත්වීම් ලබාදීමට පමණක් නොවේ.රටවැසි ප්‍රජාවගේ ආගමික ශුභසාධන හා සදාචාර වර්ධනය සඳහා කළයුතු දේ තිබියදී නොකළයුතු දේ කළයුතු දේබවට හඟවා ඔවුන් මුලා කරන උපදේශක පැවිද්දන්ද කල්පනා කරනුයේ බලය ඇතිකල කෙසේ හෝ තම පන්සල් ලොකුකර හදා ගැනීමට මඟහසර මිසක නිවැරදි මඟ පෙන්වීමක් සිදුකිරීමට නොවේ.කතෝලික,ඉස්ලාම් ආදී වෙනත් ආගමික සිද්ධස්ථානවලින් ප්‍රජාව වෙත සිදුවන මෙහෙය තරමට මෙහෙයක් ප්‍රධාන පෙළේ බෞද්ධ සිද්ධස්ථානවලින්වත් අවම මට්ටමේ සිදු නොවන පසුබිමක අන්‍යාගම්කරණය ගැන හාස්‍යජනක නන්දෙඩවිලි නැගීම ඵලක් නැත.අවංකවම බොදුනුවෙකුට තමන්ගේ බෞද්ධකම පිළිබඳ අභිමානයක් ඇතිකරගත හැකි පසුබිමක් අද මෙහි නැත. ගිහි,පැවිදි,ස්ත්‍රී,පුරුෂ භේදයකින් තොරව සුදුස්සාට සුදුසු තැන ලබාදීමට නිසි ක්‍රමවේදයක්ද මෙහි නැත. බාහිර පෙනුමට,මතුපිට ඔපට ලැබෙන තැන අභ්‍යන්තර ගුණයට අද මෙහි නැතිබව නුතන බුදු සසුනේ පරිහානිය කදිමට ඉස්මතුකර පෙන්වයි.සක්කායදිට්ඨිය නැතිකිරීමට මඟකියන දහමතුළ සක්කායදිට්ඨි තහවුරු කිරීමට අවැසි ක්‍රමවේද නිර්මාණය වෙමින් පවතියි.බැලු බැලූ අත දිස්වනුයේ වැරදි දේම මිසක නිවැරදි දේවල් නොවේ.අද මිනිස් ලොව ඉතාවේගවත්ව විනාශය කරා පානඟනබව පැහැදිලිව පෙනේ.

Comments

Popular posts from this blog

මහා බලතගු වශී ගුරුකම්

sinhala tamil aluth avurudu litha 2018

මහා බලතගු වශී ගුරුකම්