Skip to main content

පිරිහී ඇත්තේ සමාජය ද අප ද ?

පිරිහී ඇත්තේ සමාජය ද අප ද ?

යම්කිසි කාලසීමාවක් යන විට මිනිසා ගුණධර්මවලින් පිරිහි යන බව තථාගතයන්වහන්සේ විසින්

දේශනා කර තිබේ. එය කලියුග කාලය නම් වේ. මේ උදා වෙමින් පවතින්නේ එම පිරිහීමේ කාලසීමාව

බව වර්තමාන යුගයේ මිනිස් ක්‍රියාකාරකම් අනුව පැහැදිලි වේ. මානව චර්යා මනුෂ්‍යත්ව

සභ්‍යත්වයට නොගැලපෙන ලෙස සිත්සතන් අන්ත දූෂිත දැඩි ආත්මාර්ථකාමී, පටු, ලෝභී,පටිඝ හා

කාමුක ආකල්ප හා චේතනාවලින් පිරි ඉතිරි යමින් පවතියි. තාක්ෂණය හා විද්‍යාව කෙතරම් දුරට

දියුණු වුවද එම දියුණුව පවතින්නේ හුදෙක් මතුපිට භෞතික ස්ථරයතුළ පමණකි. මානවයා

සිත්සතන්වලින් ක්‍රමිකව වර්තමානය තුළ වනචාරී ගෝත්‍රික යුගයට ඇදී යමින් පවතියි. දියුණුවනවා

යන්නෙහි සැබෑ අර්ථය විය යුත්තේ භෞතිකව හා අධ්‍යාත්මික යන අංශ දෙකින්ම එක හා සමානව

සංවර්ධනයවීමයි. නමුදු නූතන යුගයෙහි එය හුදෙක් භෞතික දියුණුව පමණක් දක්වා අතිශයින්ම

පටුව හා ලඝුව තිබේ.

සියලු අහිතකර මානසික ආකල්ප හා චේතනා වර්ධනයවීමට ආත්මාර්ථකාමීත්වය ප්‍රධාන හේතුවයි.ඒ

ආත්මාර්ථකාමී ආකල්ප හා චේතනා නිසා ස්වකීය ආත්මලාභය කෙරෙහි පමණක් යොමුවූ මානසික

මට්ටමකින් අන්‍යයන් සමඟ කටයුතුකිරීමට යොමුවීම ක්‍රෝධ හා කාමුක චර්යාවන්ට

හේතුවයි.රටපුරා සීඝ්‍රයෙන් වර්ධනය වන අපරාධ රැල්ලට ප්‍රධාන උත්ප්‍රේරකය නම් මිනිසුන් තුළ

විද්‍යමාන වන ඉවවහා යන දැඩි ආත්මාර්ථකාමීත්වයයි.සාමූහිකත්වය,සමූපාකාර පැවැත්ම ඇතිවන්නේ

ආත්මාර්ථකාමීත්වය දුරු වූ පමණටය.පොදු බව කෙරෙහි නැඹුරුවීම හා පෞද්ගලිකත්වය දුරුවීම

සිදුවන්නේ සාමූහිකත්වය සමුපාකාර පැවැත්ම ඇතිවූ ප්‍රමාණය අනුවය.මිනිසාතුළ දැඩි ආත්

මාර්ථකාමීත්වය තිබියදී ඔවුන් මෙසේ සාමූහිකත්වය,සමූපාකාර පැවැත්ම කෙරෙහි නැඹුරුකරවිය

නොහැකිය.

සමාජයෙන් නිරතුරුව සන්නිවේදනය වන්නේද වඩවඩාත් මිනිසුන්ගේ ආත්මාර්ථකාමීත්වය වර්ධනය

කරවන දේවල් මිසක ඔවුන්ගේ සමුපාකාර,සාමූහික පැවැත්ම වර්ධනය කරවන දේවල් නොවීම තුළ

මිනිස්සු වඩාත් දැඩි ආත්මාර්ථකාමීත්වය දෙසට වේගවෙන් නැඹුරු වෙමින් සිටිති.මේ ප්‍රවණතාවය අද

මෙරටතුළ සීඝ්‍රගාමීව වර්ධනය කෙරෙහි ප්‍රබල දායකත්වයක් සපයා තිබේ.මානවයා ආගමික,ජාතික,

වාර්ගික අංශන්ගෙන් පමණක් නොව ලිංගික අනන්‍යතාවය අනුවද බෙදාවෙන්කර දැකීමට යොමුකර

වීම තුළ වඩවඩාත් ආත්මාර්ථකාමීත්වය වර්ධනය වී තිබේ.මේ තත්වය සමලිංගිකත්වය,විකෘති,විෂම

ලිංගික චර්යා ප්‍රවර්ධනය කෙරෙහිද ප්‍රබල උපස්ථම්භනයක් ලබාදෙන බව නූතන සමාජයේ එබඳු

දේ සඳහා පවතින අධිනැඹුරුව අනුව පැහැදිලි වේ.අද තාක්ෂණික දියුණුවතුළ එබඳු දේ ප්‍රවර්ධනය

කෙරේ.

එසේ නම් මෙබඳු අයහපත් දේ සමාජයෙන් තුරන් කළහැක්කේ කෙසේද යන්න කෙරෙහි අවධානය

යොමුකළ යුතු වේ.අනිවාර්යයෙන්ම මේ පවතින තත්වය නැතිකළ හැක්කේ සමූපාකාර පැවැත්ම හා

සාමූහික බව වර්ධනය කිරීමෙන් පමණකි.සාමුහිකත්වය, සමූපාකාර පැවැත්ම වර්ධනය කළ හැක්කේ

ආත්මාර්ථකාමීත්වය දුරුවීම මඟිනි.එසේ නම් ආත්මාර්ථකාමීත්වය දුරුකළ හැක්කේ කෙසේද?එය කළ

හැක්කේ ආත්මාර්ථකාමී බව ඇති වීමට ඉවහල් වන මානසික හේතු හඳුනාගෙන ඒවා ඉවත් කර දැමීමට

කටයුතුකිරීමෙනි.එසේ නම් පුද්ගල ආත්මාර්ථකාමිත්වය ඇතිවීමට බලපාන මානසික හේතු කවරේද?ඒවා

නම් ඉන්ඳ්‍රිය සංවේදනයන් කෙරෙහි ඇලුම්වූ ලෝලත්වය හා ඉන්ද්‍රීය සන්නිවේදනයන්හි

ආශ්වාදයයි.මේ ආශ්වාදය ඇතිවීමට ඒවා වරදවා වටහාගැනීම ඉවහල් වේ.වරදවා ගැනීම අවිද්‍යාව වේ.

සාමාන්‍යයෙන් අප ක්‍රෝධය,කාමුකත්වය,මෝඩකම ආදී වශයෙන් දක්වන සියලුම අයහපත් මානසික

අභිප්‍රේරණ ඇතිවන්නේ ඇස,කණ,නාසය,දිව,සම හා මනස යන ඉන්ද්‍රියන්ගෙන් ඇතිවන සන්නිවේදන

ආශ්වාද වශයෙන් ලෝලනය කිරීමෙනි.මේ අනුව යමෙකු මිනීමරුවෙකු,දූෂකයෙකු,මෝඩයෙකු බවට

පත්වීමට ඉවහල්වනුයේ සංවේදන (sense process)සන්තතිය ආශ්වාද ලෙස වරදවා වටහාගැනීමයි.ඒ

අනුව මිනීමරුවෙකු,ස්ත්‍රී දූෂකයෙකු,අපචාරකරුවෙකු,මෝඩයෙකු යළිත් යහපත් පුද්ගලයෙකු කිරීමට

නම් ඊට ප්‍රතිපක්ෂ ක්‍රියාවළියකට ඒ පුද්ගලයා බඳුන්කළ යුතුය.සතර සතිපට්ඨානයට අයත්

විදර්ශනා භාවනා ක්‍රමය තුළ ගැබ්වනුයේ ඒ පුද්ගලයෙකු යහපතෙහි පිහිටුවීමට අවශ්‍යකරන මූලික

ප්‍රතිකාරයයි.

මේ අනුව ස්ත්‍රී දූෂක, අපයෝජක, ව්‍යභිචාරී, අපචාරී ආදී සියළු වර්ගවල විෂම හා විකෘති ලිංගික

අපරාධකරුවන් පුනරුත්ථාපනයට අවශ්‍යකරන සියලු දේ කායානුපස්සනා සතිපට්ඨානය තුළ ගැබ්ව

තිබේ. මිනීමරු,සාමූහ ඝාතක (Serial Killers) ආදී හිංසක අපරාධකරුවන් පුනරුත්ථාපනයට අවශ්‍ය සියලු

දේ වේදනානුපස්සනා හා චිත්තානුපස්සනා යන සතිපට්ඨාන දෙකතුළ ගැබ්ව තිබේ. ජාතිවාදී,

වර්ගවාදී,ගෝත්‍රවාදී,ලිංගවාදී ආදී අන්තවාදී දෘෂ්ටිවලින් සිහිබුද්ධිය මුළාවූවන් පුනරුත්ථාපනය

සඳහා ධම්මානුපස්සනා සතිපට්ඨානය ඉවහල් වේ.වෙනසක් නොමැතිව සතර සතිපට්ඨානයම මෙබඳු

සමාජ විරෝධී පැවතුම් ඇත්තන් යළිත් පුනරුත්ථාපනය කර සමාජ සම්මත යහපත් ඇත්තන්බවය

පත්කරවීම සඳහා ඉවහල් වේ.ස්ත්‍රී දූෂකයන්,ළමා අපයෝජකයන්,සාමූහික ඝාතකයන්හට

කායානුපස්සනා සති පට්ඨානයට අයත් පටික්කූල මනසිකාර,ද්විතිසංකාරය,නවසීවථක පබ්බය,දස

අසුබය වැනි සිරුරෙහි අනිත්‍ය,දුක්ඛ,අනත්ත ආදී තිලකුණු පසක් කරවන භාවනා යහපත්ය.පිළිකා

රෝහල්,ශල්‍යකර්මවලට බඳුන් වූවන්,වැඩිහිටි නිවාසවල මහළු අය ආදීන් වෙනුවෙන් ප්‍රජා සේවයෙහි

නිරතකරවීම ද යහපත්ය.

ගැටළුවලට විසඳුම වන්නේ මිනිසුන් මරාදැමීම නොවේ.කෙතරම් මරාදැමුමද යළියළිත් සසරෙහි උපත

ලබමින් ඔවුහු ඉන් වඩවඩාත් වෛරීව යළියළිත් සමාජ විරෝධී ක්‍රියාවළ නිරත වෙති.අපරාධ අවමකළ

හැක්කේ අපරාධකරුවන්ගේ මනසට පිළියම් කිරීමෙනි.සමාජ විරෝධී චර්යා සමාජ හිතකාමී චර්යා

ලෙසට පුනරුත්ථාපනය කිරීමෙනි.අද මෙරට බන්ධනාගාර ක්ෂේත්‍රයතුළ නිසි පරිදි අපරාධකරුවන්හට

පුනරුත්ථාපන ක්‍රියාවළියක් සිදු නොවේ.ඒ වෙනුවට සිදුවනුයේ සුලු වරදකට බන්ධනාගාරගතවන

පුද්ගලයා වඩාත් දරුණු වර්ගයේ අපරාධකරුවෙකුබවට පරිවර්තනයවී යළිත් සමාජගතවීමක්

පමණකි. බන්ධනාගාරගතවූවෙකුට කිසියම් වෘත්තියක් පිළිබදව පුහුණුව ලබාදීම වැදගත්ය.ඒ සමඟම

ආකල්පද ඉහත දැක්වූ පරිදි යළිත් පුනරුත්ථාපනය කළ හැකිනම් එය වඩාත් අගනේය.එවිට හිංසක

පුද්ගලයෙකු ලෙස බන්ධනාගාරගත වන්නා නිදහස්වී සමාජගතවනුයේ සාමකාමී අහිංසක පුද්ගලයෙකු

වශයෙනි.

එසේ නොමැතිව හන්දියක් හන්දියක් පාසා එල්ලුම්ගස් පිහිටුවූවත්,අත්පා කන් නාසා කැපූවත් මිනිසුන්

ඒවාට පමණක් බියවී හොඳ යහපත් මිනිසුන් වෙතැයි සිතීම අපහසුය.මෛත්‍රි චේතනාවෙන් යමෙකුහට

එසේ දඬුවම් කළ හැකිද නොවේ.යමෙකුහට දඬුවම් කිරීමේදී වෛරී චේතනාව සහිතව දඬුවම්කිරීමෙන් එක

ඝාතකයෙකු වෙනුවට තව තවත් ඝාතකයන් බිහිවීමේ අවදානමක්ද ඇතිවේ.මරණදඬුවම නීතිගත කිරීමෙන්

රාජ්‍ය අනුග්‍රහය සහිතව නීත්‍යානූකූලව ඝාතනය යෙදීමෙන් හෝ පාතාලක්‍රමයට කුලියටමිනී

මැරීමෙන් සිදුවන පවෙහි වෙනසක් නැත.බුදු දහම වරදවා ගැනීම නිසා සමහරු මානසික පාපකර්ම සිදු

කරති.මිනීමැරීමට බුදු දහම හුවා දක්වා අවසර ලබාදෙති.අකුසලය,පාපය මතුපිට බාහිර කවරය කුමන

ආකාරයේ වෙස්ගැන්වූවත් සිදුවේ. චේතනාව යනු යමක් සිදුවන ක්ෂණයෙහි චිත්ත ක්‍රියාකාරීත්වයයි.ඒ

චිත්ත ක්‍රියාකාරීත්වයට දැනුවත්ව හෝ නොදැනුවත්ව යමෙකුට වංචාවල්,කපටිකම් කළ නොහැකිය.

මහාපින්කමක් සිදු කරන්නේ යැයි සිතා සාහසික පවක් කළද,අකුසලයක් කරන්නේ යැයි සිතා පිනක්

කළද විපාක දෙනුයේ තමා සිතට ඒත්තු ගන්වන්නට උත්සාහ කරන දේ අනුව නොව සැබවින්ම කරන දේ

අනුව ඒ ක්ෂණයෙහි ඇතිවන චිත්තවීථියෙහි අදාළ චිත්තක්ෂණය අනුවය.අද දන්නා පුද්ගලයා සේ ම

නොදන්වා පුද්ගලයාත් බුදු දහම පිළිබදව දොඩමළුවන වාතාවරණයක් නිර්මාණයවී ඇති නිසා හා

නොදන්නා ආකර්ශණීය වැරදි සමාජ මතවාදවලට නිවැරදි දේට වඩා වැඩි ඉඩකඩක් ඇතැම් මාධ්‍ය

හරහා නිර්මාණයවී ඇති නිසා පිරිසිදු බුදු දහම නමින් අද බහුතරව සමාජගතවී ඇත්තේ සාවද්‍ය

මතවාද බව දැකගත හැකිය.විද්‍යාව,තාක්ෂණය,ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනීම වෙනම

දැනුමකි.පාලි භාෂාව ත්‍රිපිටක බුද්ධ වචනය,නිකායාන්තර බුදු දහම,දාර්ශනික හා සාමයික

දැනුම,මනෝවිද්‍යා (Clinical & Normal Psychology) ක්ෂේත්‍රයේ ගැඹුරු දැනුම ආදී ජීවිතයේ විශාල

කාලපරාසයක් කැපකර අත්පත් දැනුම,අවබෝධය හා කුසලතාව මත යමෙකු ත්‍රිපිටක බුදදහම නිසි

අයුරින් විවරණය කිරීමට සමත්වේ.

යමෙකු කරන රැකියාව,සමාජ තත්වය,ධන හෝ නිලබලය ආදී සාධක බුදුදහම විග්‍රහ කිරීමට

යෝග්‍යවූ සුදුසුකමක් නොවේ.අද පවතිනුයේ විවිධ ආකාරයෙන් ආකූල,ව්‍යාකූල,විකෘති වූ

සමාජයකි.සමාජගත සබඳතා,දැනුම,වෘත්තීය ආදි සෑම ක්ෂේත්‍රයකම මේ විකෘතිය අඩුවැඩි සේ දක්නට

ලැබේ.වෘත්තිය අනුව පුද්ගලයන්ගේ උගත්කම වර්ගීකරණය නොකළහැකි මට්ටමට අද සමාජය පත්ව

තිබේ.විවිධ අයථාදේ අනුව සමාජයේ ඉහළ ස්ථරවල සිටින නුසුදුස්සන්ද,සාධාරණව සමාජ පිළිගැනීම

ලබාගත නොහැකිව සිටින නමුදු ඉහළ රැකියාවලට ඉහළ සුදුසුකම් තිබුණද සුදුස්සා කපා පාගා දමා

තමන්ගේ එහෙය්යන් වන නුසුදුස්සන් ඉහළට ගැනීම ආදී පවතින සමාජ ක්‍රමයෙහි ජරාජීර්ණ

පිළිවෙත නිසා රැකියා විරහිතව සිටින උගතුන්,විද්වතුන් පවා මේ විකෘතිගත වූ සමාජක්‍රමයෙහි

අතුරුඵලයක් සේ විද්‍යමානය.බුදු දහම විග්‍රහ කළයුත්තේ මේ සියලු දේ පිළිබදව ගැඹුරු ප්‍රමාණික

පරිණත අවබෝධය මත පිහිටාය.එලෙස නොවූ විට සමාජ හාස්‍යයට ලක්වීමට සිදුවේ.බුදුන්වහන්සේ

එදා සමාජයට දැනෙන ලෙස ස්වකීය දහම් පණිවිඩය සාර්ථකව සමාජගතකරනුලැබුවේ ඊටඅවශ්‍ය

සමාජපරිණතබව දැනඋගත්කම සමඟ සාර්ථක ලෙස බද්ධ කරගත් බැවිනි.ප්‍රජාතන්ත්‍රවාදය

ගරුකරන සමාජ පසුබිමක්තුළ අන්තවාදී බවට ආයුෂනැත.

මෙරට විවිධ ආගම් හා ජනවර්ග කීපයක් ඇත.සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්,ජා,මැලේ ආදී ජනවර්ග ද,

බෞද්ධ,හින්දු,කතෝලික,ඉස්ලාම් ආදී ආගම් වර්ග ද ඇත.මෙරට තුළ තවමත් සිංහල බෞද්ධ බහුතර

ජනප්‍රජාවක් සිටින බව සත්‍යයකි.නමුදු එසේ වුවද ජාතික, සාමයික, වාර්ගික සුහදතාවය ආරක්ෂා

කර ගැනීමට එය බාධාවක් කර නොගත යුතුය.මෙරට සිංහල බෞද්ධයන්හට සේම අන්‍ය

ජාතීආගම්වල සෙසු ජනතාවටද සාමයෙන් මඟියෙන් සමූපාකාර පැවැත්මක් සහිතව ජීවත්විය හැකි

පරිසරයක් පැවතීම හෝ නිර්මාණය කරදීම තුළ බහුතර සිංහල බෞද්ධ ප්‍රජාවගේ ආගමික,වාර්ගික

සුහඳතාවය, නම්‍යශීලීත්වය මෙරට ජනතාව තුළ පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවතුළ ද වඩාත්

පැහැදිලිව ඉස්මතු කර දැක්වීම සඳහා එය හොඳ මිණුම් දණ්ඩක් වනු ඇත.බුදු දහමේ ප්‍රවර්ධනයටද

එය විශාල ආධාරයකි.කථිකාචාර්ය

Comments

Popular posts from this blog

මහා බලතගු වශී ගුරුකම්

sinhala tamil aluth avurudu litha 2018

මහා බලතගු වශී ගුරුකම්