Skip to main content

බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද?

බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද?

අද මාංශ ආහාරන අනුභවය පිළිබඳව නොයෙකුත් අයුරින් පැවිදි හා ගිහි

බෞද්ධයන්ට චෝදනා කරන අය සිටිති. ඔවුන් එසේ කරනුයේ එය බෞද්ධයන්ට

අකැප දෙයකැයි යන වැරදි මතයක පිහිටාය. නමුත් බුදුරදුන් පවා වැළඳු බවට සුත්‍ර

පිටකයේ හා විනය පිටකයේ විවිධ ස්ථානවල සඳහන් බව ඔවුහු නොදනිති.ඒ

අවස්ථා ලෙස අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය, මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය,

සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය, මහාවග්ගපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති

කතා පුවත, පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂා පදය, දීඝ නිකායේ මහා

පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් චුන්දකර්මාර පුත්‍රයාගේ සුකරමද්දව දානය ආදිය

පෙන්වා දිය හැකිය. මෙම අවස්ථා බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සාක්ෂි

සපයයි. මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන්

වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක.

එකල්හි ජීවක උපාසක තුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ

මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරන

බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී.

“සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති”

“ස්වාමීනි,ඒ අයුරින් නොයෙක් දෙනා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේට අදාළ

දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභූතයෙන් චෝදනා

කරන්නෙහිද?යනුවෙන් ජීවක උපාසක තුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය.

එම ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරුදුන්නේ මෙසේය.“ජීවකය,යමෙක් මෙසේ

කියත්නම්,ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති,ඒ කාරණය

දැනදැනම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙල කළ මස් වළඳත්

කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය

නොවෙති. ඔවුහු මාහට අසත්‍යයෙන් අභූතයෙන් චෝදනා කරන අය වෙති”

යනුවෙනි. එසේ බුදුරදුන් ජීවක උපාසක තුමාට දේශනා කෙළේ තමන් වහන්සේ

කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභව කරන බවයි. එසේ ම එය වැළඳීමට

භික්ෂුණ්ට අනුමැතිය ලබා දෙන බවයි.ඒ කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ

තිකෝටි පාරිශුද්ධ මාංශයයි. එනම්: 1.අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව

නොදුටු, 2අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු, 3. අපරිසඬ්කිත –

තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති මාංශයයි.

“ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව

කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය). එසේම සමාජයේ

බුදුරජාණන් වහන්සේ උදෙසා සතුන් මරති, උන්වහන්සේ එම මස් දැන දැන වළඳත්

යැයි බුදුරදුනට චෝදනාවක් ඇති වුයේ උන්වහන්සේ මස් වළඳන නිසා බවද මෙයින්

පැහැදිලි වෙයි. මස් නොකන අයට සමාජයෙන් එවැනි චෝදනා එල්ල වන්නේ නැත.

මහාවග්ගපාළියේ භේසඡ්ඡඛන්ධකයේද බුදුරදුන් මස් වැළඳුබවට තොරතුරු

සඳහන්වේ.බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරන කාලයක ලීච්ඡවීහු

සන්ථාගාර (රැස්වීම්) ශාලාවෙහි රැස් වී බුදුරදුන්ගේ ගුණ කියත්, භික්ෂු සංඝයාගේ

ගුණ කියත්, එම අවස්ථාවේ රැස්වීම් ශාලාවේ සිටි නිගණ්ඨ ශ්‍රාවකයෙකු වූ සිංහ

නම් සේනාපතියෙක් බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේ දැකීමට යාමට කැමති

වෙයි. ඒ බව නිගණ්ඨනාථ පුත්ත වෙත දැනුම් දුන් විට ඔහු මෙසේ කීවේය.“ශ්‍රමණ

ගෞතමයන් වහන්සේ අකිරියවාදියෙකි. එයින් ම උන් වහන්සේ ශ්‍රාවකයන්

හික්මවති. ඔබ කුමක් හෙයින් බුදුරදුන් හමුවීමට යන්නෙහිද?” නිගණ්ඨනාථ පුත්ත

එසේ කී විට සිංහ සේනාපතියන්ගේ බුදුරජාණන් වහන්සේ දැකීමේ අදහස නැති වී

ගියේය.එහෙත් දෙවන තුන් වන වරද ලීච්ඡවීන් බුදුරජාණන් වහන්සේගේ ගුණ

වර්ණනා කළ විට ඔහුට බුදුන් දැකීමේ අදහස යළිත් ඇතිවිය. එම අදහස

නිගණ්ඨනාථ පුත්‍රයන්ට දැනුම් දුන් පසු ඔහු දෙවන තෙවන වර ද සිංහ

සේනාපතියන් වළක්වනු ලැබීය. පසුව සිංහ සේනාපතියන් නිගණ්ඨනාථ පුත්‍රයන්ට

නොදන්වා රථ පන්සියයක් සහිතව දහවල් කාලයේ බුදුරජාණන් වහන්සේ දැකීමට

ගියේය. බුදුරදුන් හමුවූ සීහ සේනාපතියන් උපාසකයෙකු බවට පත්වීය.

ඔහු නිවසට ගොස් සේවකයෙකු අමතා වෙළඳ පොළට ගොස් මස් ගෙනෙන්නට

නියම කළේය. “ගච්ඡ භණේ පවත්ත මංසං ජානාහී තී” (මහාවග්ගපාලි – 592

පිටුව) පසුදා සීහ සේනාපතියා බුදුරදුන් ප්‍රමුඛ මහා භික්ෂු සංඝයා වහන්සේට මස්

සහිත ප්‍රණීත භෝජනයෙන් සංග්‍රහ කෙළේය. සීහ සේනාපතියා උපාසකයෙකු බවට

පත් වූ පුවත හා ඔහු බුදුරදුන්ට මස් සහිත දානයක් දුන් පුවත දැන ගත්

නිගණ්ඨයෝ විශාලා මහනුවර වීදිවල ‘අද සීහ සේනාපතියා තරබාරු සිවුපාවෙකු

මරා ශ්‍රමණ ගෞතමයන්ට බත් කරන ලද්දේය. ශ්‍රමණ ගෞතමයන් තමන් උදෙසා

කළ මාංශය වැළඳු වේ යැයි  “අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං වධිත්වා

සමණස්ස ගෝතමස්ස භත්තං කතං. සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං

පරිභූඤ්ජතී’ති පටිචචකම්මන්ති” යි ඝෝෂා කළහ. මෙම කතා පුවතින්ද බුදුරජාණන්

වහන්සේ මස් වැළඳු බව තහවුරු වෙයි. සීහ සේනාපතියා ‘පවත්ත මාංශය’

ගෙනෙන්නට කීමෙන් නිගණ්ඨයන් ද ‘පවත්ත මාංශය’ අනුභව කරන්නට ඇති බව

සිතිය හැකිය. ඔවුන් බුදුරදුන්ට චෝදනා කෙළේ උදෙසා කළ (උද්දිස්සකටං) මසක්

වළඳන බවටයි. එනිසා පවත්ත මාංශය හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

ජෛනයන් හා වෙනත් ශ්‍රමණයන් ද වළඳන්නට ඇත. එනිසා බුදුරදුන් ද ත්‍රිකෝටි

පාරිශුද්ධ මාංශය වැළඳු බවට මේ කතා පුවතින් ඉදිරිපත් කර ඇත.

මීට අමතරව පාරාජිකාපාලි විවරපටිග්ගහන ශික්ෂා පදයේ ද බුදුරදුන් මස් වැළඳු

බවට කතා පුවතක් සඳහන් වෙයි. එහි සඳහන් පරිදි උප්පලවන්නා මෙහෙණිය

පෙරවරු කාලයේ පිණ්ඩපාතයෙන් පසුව අන්ද වනයට වැඩම කරවා ගසක් මුල

දිවාවිහරණය පිණිස වැඩ සිටියාය. ඒ වේලාවෙහි සොරු ගව දෙනක්මරා අන්ද

වනයට පිවිසුණහ. සොර නායකයා ගසක් මුල වැඩ සිටින උප්පලවන්නා මෙහෙණීන්

වහන්සේ දැක මාගේ දරුමල්හු මේ මෙහෙන දක්නාහු නම් වෙහෙසෙන්නාහයි

(කරදර කරන්නේ යැයි) වෙන මගකින් ගියේය. අනතුරුව ඒ සොර නායකයා

මස්පැසුණු විට හොඳ මස්ටිකක් ගෙන කොළආදියෙන් ඔතා බැඳ උප්පලවන්නා

මෙහෙණීන් වහන්සේට ළඟ තැනක “යම් මහණ බමුණෙක් මෙය දකිත් නම් එය

ගනිත්වා” යැයි කියා ගසක එල්ලුවේය.උප්පලවන්නා මෙහෙණීන්වහන්සේ

සමාධියෙන් නැගීසිට සොර නායකයාගේ වචනය අසා ඒ මස් ගෙන මෙහෙණවරට

ගියාය. පසුදා එම මස් පිළියෙලකර උතුරු සිවුරෙහි ඔතාගෙන බුදුරජානන්

වහන්සේට පිළිගැන්වීමට ජේතවනාරාමයට ගියාය.මේ කතා පුවතින්ද බුදුරදුන් මස්

වැළඳූබව තහවුරුවෙයි. මෙහි සඳහන් වැදගත්ම කාරණයනම්“ගාවිං

වධිත්වා”යන්නයි. මෙයින් බුදුන් වහන්සේද ගව මාංශ වැළඳු බව කියවෙයි.

අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඌරු මස් වැළඳු කතා

පුවතක් සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාගාර ශාලාවෙහි

වැඩ වසන සමයක සෝවාන් ඵලයට පැමිණි උග්ග නම් උපාසකයෙක් බුදුරජාණන්

වහන්සේ උදෙසා අපුරු ආකාරයක දානයක් පිළියෙල කෙළේය. උග්ග ගෘහපතියා

බුදුරජාණන් වහන්සේට එම දානය පිළිගැන්වූයේ උන්වහන්සේ විසින් දේශනා කරන

ලද බණ පදයක්ද සිහි ගන්වමිනි. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ

ඉදිරියෙහිදී මෙසේ අසන ලදී. එනම් මනාප දේ දන් දෙන තැනැත්තා කැමති දෙයක්

ම ලබන්නේය” යන බණ පදයයි. භාග්‍යවතුන් වහන්ස මා ඩෙබරඵල මුසු කළ ඌරු

මස් වලට ඉතා මනාපය. එනිසා භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා

උපදවා ගෙන මාගේ ඩෙබරඵල මුසු මේ ඌරු මස පිළිගන්වා සේක්වා. උග්ග

ගෘහපතියා මෙසේ ප්‍රකාශ කර බුදුරජාණන් වහන්සේ වෙත ඌරු මස් පිළිගැන්වූ විට

උන්වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳු සේක. මේ

ප්‍රවෘත්තියෙන් ද බුදුරජාණන් වහන්සේ මාංශ වැළඳු බව සනාථ වෙයි. සුත්ත

නිපාතයේ ආමගන්ධ සුත්‍රයේ පෙර බුදුවරු පවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු

බව සඳහන් වෙයි. එය මාංශ ආහාරය සම්බන්ධයෙන් බුදුවරු එකම ආකල්පයක්

දරන බවට සාධකයෙකි. එහි සඳහන් ආකාරයට එම කතා පුවත කාශ්‍යප

බුදුරජාණන් වහන්සේගේ කාලයට සම්බන්ධ වෙයි. බ්‍රාහ්මණ වංශික තිස්ස නම්

තාපසයෙක් පිරිවර තාපසයන් සහිතව මාංශ ආහාර වලටත්, මාංශ ආහාර අනුභව

කරන අයටත් අපහාස කරමින්, බැනවදිමින් සිටියේය. තිස්ස තාපසයා ප්‍රකාශ

කෙළේ, මිනේරි, අමු ඇට, තල කොළ, දලු, අල, මුල් පලතුරු ආදී දැහැමින් ලබන දේ

වළඳන දැහැමින් සැනසෙන අය කාමය නොපතන, බොරු නොකියන අය බවයි.

දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සහිත ඇල් හාලේ බතක් දානය

වශයෙන් ලැබ එය වළඳනු දුටු තිස්ස තාපසයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන්

මෙසේ විචාළේය. “ඔබ වහන්සේ කලින් පැවසුවේ, පිළී ගඳ තමාට කැප නැති බවය.

එහෙත් දැන් ඔබ වහන්සේ මනාව පිසින ලද ලිහිණි මස් සමග ඇල් හාලේ බත්

වළඳති”. කාශ්‍යප සමිඳුනි, ඔබ වහන්සේ පිළී ගඳ වශයෙන් සඳහන් කළේ කුමක්ද?

තාපසයා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කාශ්‍යප බුදුන් වහන්සේ ප්‍රාණ

ඝාතය, වධදීම, අත්පය සිඳීම, සතුන් සිර කොට තැබීම, සොරකම, බොරුකීම, වංචා

කිරීම, ක්‍රෝධයෙන් කල් ගෙවීම, අනුන්ගේ භාර්යාවන් ඇසුරු කිරීම, මෙලොව

පරලොව නොපිළිගැනීම, පින් පව් නොපිළිපැදීම ආදී අයහපත් දේ සිදු කිරීම

ආමගන්ධය වන බවත්, මාංශ ආහාරය ආමගන්ධය නොවන බවත් (ඒසාමගන්ධෝ

නහි මාංශ භෝජනං) දේශනා කළහ. මෙම සුත්‍ර දේශනාවෙන් පෙර බුදුවරු පවා

මාංශ භෝජනය වැළඳු බව කියවෙයි. බුදුරජාණන් වහන්සේ දැහැමින් ලැබුණු

ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව ඉහතින් ඉදිරිපත් කරන ලද පිටකාගත

තොරතුරු වලින් මනාව සනාථ වන්නේය. ඒ බවට අංගුත්තර නිකායේ මනාපදායි

සුත්‍රය, මහා පරිනිබ්බාන සුත්‍රයේ චුන්දකර්මාර පුත්‍රයාගේ දානය, පාරාජිකා පාලියේ

චීවර පටිග්ගහන ශික්ෂා පදයේ එන විස්තරය, මහා වග්ග පාලියේ සීහ

සේනාපතියාගේ කතාව, යනාදිය උදාහරණ වේ. මේ නිසා මාංශ ආහාරය බුදුසමයේ

සඳහන් මග ඵල අවබෝධයට බාධාවක් නොවන බව දේවදත්ත තෙරුන් විසින් පංච

වරයක් ඉදිරිපත් කරන ලදුව බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කිරීමෙන්

පැහැදිලි වන්නේය. මෙම පංච වරයේ එක් කාරණයක් නම් “භික්ෂුණ් දිවි ඇති තෙක්

මස්-මාළු වැළඳීමෙන් වැළකිය යුතුය” යන්නය.(යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං

යෝ මච්ඡමංසං ඛාදෙය්‍ය වඡ්ඡං නං ඵුසෙය්යාති – චුල්ලවග්ග පාලිII).

මෙයට පිළිතුරු ලෙස බුදුරදුන් දේශනා කළේ “මයා දේවදත්ත අනුඤ්ඤාතං තිකොටිං

පාරිශුද්ධං මච්ඡමංසං අදිට්ඨං, අසුතං, අපරිසංකිතන්ති” (චුල්ලවග්ග පාලි II). එනම්,

තමන් වහන්සේ විසින් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය භික්ෂුණ්ට අනුමත කර ඇති

බවයි. මෙයින් බුදු දහමින් මාංශ ආහාරය තහනම් කරනැති බවත්, බුදු දහමේ

ලැබිය හැකි මාර්ග ඵලයන්ට පත්වීමට මාංශ ආහාරය කිසිදු බාධාවක් වශයෙන්

බුදුරදුන් නොසැලකු බවත් පැහැදිලිවේ.”එසේ නම් මෙකල මාංශ ආහාරය

බෞද්ධයන්ට අකැපබවට ඇතැමුන් දක්වන මතය සැබෑ ධර්මවාදී හෝ විනයවාදී

නොවන ඒ අයගේ පුද්ගලික අදහස්“අත්තනෝමති”ලෙස සලකා බැහැර කළයුතුබව

පිරිසිදු ථේරවාදී මූලික බෞද්ධ ඉගැන්වීම් අනුව පැහැදිලි වේ. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන්වහන්සේලාහට මේ පිළිබඳ නඟන අභූත චෝදනාවද එකහෙලා මේ අනුව

බැහැරකළ හැකි බවද සඳහන් කරනු කැමැත්තෙමු.

කථිකාචාර්ය
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

Comments

Popular posts from this blog

මහා බලතගු වශී ගුරුකම්

sinhala tamil aluth avurudu litha 2018

මහා බලතගු වශී ගුරුකම්